ඉන්දියාවෙන් මතු වෙච්ච අරුම පුදුම රන් කැස්බෑවා

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් තමයි මේ අපූරු සත්වයා හමුවෙලා තියෙන්නේ.මේ කැස්බෑවාගේ මේ වෙනස් වීම සහජ විකෘතියක් නිසා හෝ සිරුරේ වර්ණකවල ඌනතාවක් නිසා හෝ සිදුවෙන්න පුළුවන්ලු. මේ ගැන වැඩි දුරටත් විස්තරකරන සත්වවේදීන් කියන්නේ කොළ කැස්බෑවාගේ නිල් වර්ණක ඌනතාව නිසා ඌ දීප්තිමත් කහ පැහැයෙන් දිස්වෙනවා විය හැකියි කියලයි.

මේ සතා අයත් වන්නේ ඉන්දියානු පැතලි කැස්බෑවන්ගේ (ඓන්ඩිඅන් ෆ්ලප් ශෙල්ල් ටුර්ට්ලේ ගණයටයි. දකුණු ආසියාවේ හමුවන මේ කැස්බෑ විශේෂය සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් යුක්ත වෙනවා. මේ සත්වයා හොඳින් වැඩුණු විට අඟල් 9ත් 14ත් අතර ප්‍රමාණයකට වැඩෙනවා. පසුගිය අගෝස්තුවේ දී මේ හා සමාන කැස්බෑවෙක් නේපාලයේ දීත් හමු වී තියෙනවා. උරග සතුන් පිළිබඳ විශේෂඥයෙකු වූ කමල් දේව්කෝටා ඒ අවස්ථාවේ දී සටහනක් තබමින් මේ රන් කැස්බෑවුන් ඉතා දුර්ලභ මෙන්ම ආගමික ඇදහිලිවල ඔවුන්ට සුවිශේෂ තැනක් හිමි වන බවත් කියා තිබුණා. නේපාලයේ රන්වන් කැස්බෑවන් ආගමික හා සංස්කෘතික වශයෙන් ජනතා ගෞරවයට පාත්‍රවන බවත් එහි ලියා තිබුණා.

හින්දු විශ්වාසයන්ට අනුව කැස්බෑවාගේ මතුපිට කටුව අහස සංකේතවක් කරන අතර යට කටුව පෘථිවිය සංකේතවත් කරනවා. ඒ වගේ ම කැස්බෑවා විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් වූ කුර්මා ලෙසත් සැලකෙනවා. ලෝක විනාශයේ දී විෂ්ණු දෙවියන් කැස්බෑවෙකුගේ වේශයක් ගෙන විශ්වය විනාශයෙන් ගලවා ගත් බව ජනප්‍රවාදයෙහි සඳහන් වෙනවා. ඒ නිසා ඉන්දියාවේ දේවාල, කෝවිල් ගණනාවකම කැස්බෑවා වැඳුම් පිදුම් ලබනවා. රන් කැස්බෑවෙකුට ඊටත් වඩා ලොකු ගෞරවයක් හිමි වෙනවා.

 

About The Author

You might be interested in